ගෝලීය වෙළඳපොළේ රන් මිල මේ මාසය තුළ 13%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී ඇති අතර, මෙය 2008 වසරෙන් පසු වාර්තා වූ දරුණුතම මාසික මිල පහත වැටීම ලෙස සනිටුහන් වේ. සාමාන්‍යයෙන් උද්ධමනය සහ ගෝලීය අවිනිශ්චිතතාවයට එරෙහි ආරක්ෂිත ආයෝජනයක් ලෙස රන් සැලකුවද, පවතින තත්ත්වය හමුවේ ආයෝජකයින් සිය අවධානය අමෙරිකානු ඩොලරය (US Dollar) වෙත යොමු කිරීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී තිබේ.
පසුගිය ජනවාරි 29 වැනිදා රන් මිල ඉතිහාසයේ ඉහළම අගය ලෙස සටහන් වූ රන් අවුන්සයක් ඩොලර් 5,594.82ක සීමාවෙන් පසුව, මේ වන විට එය එම උපරිම අගයට වඩා 18.70%කින් පහත වැටී ඇත. කෙසේ වෙතත්, වසරේ මුල් කාර්තුව (Quarter) සමස්තයක් ලෙස ගත් කල රන් මිල තවමත් 5%ක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි.
ලෝක වෙළඳපොළේ අමෙරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ ආයෝජකයින් වඩාත් ආරක්ෂිත විකල්පයක් ලෙස ඩොලරය තෝරා ගැනීම නිසා රන් සඳහා වූ ඉල්ලුම මෙලෙස අඩුවී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය ඉදිරි මාසවලදී ගෝලීය ආර්ථිකයට කවරාකාරයේ බලපෑමක් එල්ල කරනු ඇත්දැයි ලෝක වෙළඳපොළ විමසිල්ලෙන් පසුවෙයි.














