ප්‍රබල ඉන්දියාවට එරෙහිව ඓතිහාසික එක්දින ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව (07) සමත් විය.
ඒ , දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 110කින් ජය ගනිමිනි.
මීට වසර 27කට පෙර ශ්‍රී ලංකාව ජය ගත් එම තරගාවලියේ වීරයා සම්මානය දිනූ සනත් ජයසූරිය මහතා මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදී.
ප්‍රවීණ ක්‍රිකට් තරග තීරකවරයෙකු වන රංජන් මඩුගල්ලේ මහතා තීරකවරයෙකු ලෙස කටයුතු කරන 400 වැනි ජාත්‍යන්තර තරගය ද මෙය වේ.
හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයෙකු ද වන මඩුගල්ලේ මහතාට තරගය ආරම්භයට පෙර සමරු තිළිණයක් පිරිනැමුනි . කණ්ඩායම් දෙකෙහි නායකයින්ගේ සහභාගීත්වයෙනි.
වසර 27කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලි ජයක් බලාපොරොත්තුවෙන් අද ශ්‍රී ලංකාව මෙම තරගයට එක්විය.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමග අවිශ්ක ප්‍රනාන්දු ය.
ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 89ක සබඳතාවයක් ගොඩනැඟූයේ ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දමමිනි.
පැතුම් නිස්සංක ලකුණු 45ක් රැස් කළේ ය.
කලකට පසු අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96කි.
කුසල් මෙන්ඩිස් එක් අන්තයක සිට ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ ලකුණු 59ක් රැස් කරමිනි.
ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් දැවී ලකුණු 248ක් රැස් කළේ ය.
නායක රෝහිත් ශර්මා සමඟ ශුබ්මන් ගිල් ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කලත් .
ඔවුන්ට සුපුරුදු දස්කම් දක්වන්නට හැකියාව නොලැබිණි.
දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 37 කට සීමා විය.
ශුබ්මන් ගිල් ලකුණු 6කට දැවී ගියේ ය.
කඩුල්ලේ ස්ථාවරව සිටි නායක ශර්මා ලකුණු 35කට දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් විය.
රිෂාබ් පාන්ට් ලකුණු 6කි.
යළි ක්‍රියාත්මක වූ වෙල්ලාලගේ විරාත් කෝලිව ලකුණු 20කට පිටියෙන් ඉවත් කරන ලදි.
ශ්‍රී ලංකා ප්‍රබල දග පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිමේ මැදපෙළ බිඳ වැටුණි.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 27ට කඩුළු 5කි.
ජෙෆ්රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂත අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියහ.
ඉන්දියාව පන්දුවාර 26යි පන්දුවක් තුළ ලකුණු 138කට සියලු දෙනා දැවී යන ලදි.
තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු ය.
තරගාවලියේ වීරයා දුනිත් වෙල්ලාලගේ .