උතුරු පළාතේ පැවති යුදමය වාර්තාවරණය හේතුවෙන් 1985 වසරේදී වසා දැමූ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාවට වසර 40කට පසුව යළි පණ ලබා දෙමින් එහි නව ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීම අද (22) පරන්තන් රසායනික කර්මාන්ත කලාපයේදී සිදු විය.
1954 දී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ රජයේ රසායනික කර්මාන්ත ශාලාවක් ලෙස ආරම්භ වූ මෙය, පසුව 1957 දී පරන්තන් රසායනික සංස්ථාව ලෙස ස්ථාපිත කරන ලදී. මෙරට රසායනික කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වූ මෙම කම්හල වසා දැමීමට පෙර දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් කෝස්ටික් සෝඩා, ද්‍රව ක්ලෝරීන්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ මේස ලුණු වැනි නිෂ්පාදන රැසක් වෙළඳපොළට නිකුත් කළේය.
රුපියල් මිලියන 6,900ක දැවැන්ත ආයෝජනයකින් ආරම්භ වන මෙම නව ව්‍යාපෘතිය මාස 30ක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇත. මෙම කර්මාන්ත ශාලාව හරහා දේශීය වෙළඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා පොලි ඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC) සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCL) නිෂ්පාදනය කිරීමට නියමිතය. මෙමගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සහ පරන්තන් රසායනික සමාගමේ සභාපති සදානම්දම් නෙසරාජන් යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
1991 වසරේදී පොදු සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස ප්‍රතිසංස්කරණය වූ පරන්තන් කෙමිකල්ස් සමාගම, මෙම නව පිබිදීමත් සමඟ උතුරු පළාතේ ආර්ථික සංවර්ධනයට සහ රැකියා උත්පාදනයට සෘජු දායකත්වයක් ලබා දීමට නියමිතය.














