ඇමෙරිකාවේ විසූ දරුණුතම මිනීමරුවෙකු ලෙස සැලකෙන ටෙඩ් බන්ඩි (Ted Bundy) විසින් ඝාතනය කරන ලද 17 හැවිරිදි තරුණියකගේ අනන්‍යතාව වසර 51කට පසු නවීන DNA තාක්ෂණය ඔස්සේ තහවුරු කර ගැනීමට යුටා (Utah) ප්‍රාන්ත පොලිසිය සමත් වී තිබේ. ඒ අනුව 1974 වසරේ සිට විසඳාගත නොහැකිව තිබූ මෙම අපරාධ නඩුව නිල වශයෙන් වසා දැමූ බව යුටා ප්‍රාන්ත බලධාරීන් ඊයේ (01) නිවේදනය කළහ.
ලෝරා ඈන් ඒම් (Laura Ann Aime) නමැති මෙම තරුණිය 1974 හැලොවීන් දින රාත්‍රියේ පැවැති සාදයකින් පසු අතුරුදන් වූ අතර, මසකට පමණ පසු ඇගේ සිරුර ඇමෙරිකන් ෆෝක් කැනියොන් (American Fork Canyon) ප්‍රදේශයේ තිබී හමුවිය. 1989 දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර ටෙඩ් බන්ඩි මෙම ඝාතනය තමන් සිදු කළ බවට පාපොච්චාරණය කර තිබුණද, ඒ පිළිබඳ නිශ්චිත සාක්ෂි නොමැති වීම නිසා පොලිසිය මෙම නඩුව මෙතෙක් විවෘතව තබාගෙන සිටියේය.
යුටා ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය පවසන පරිදි, නවතම පරීක්ෂණ මගින් ලෝරාගේ සිරුරෙන් සොයාගත් DNA සාම්පල ටෙඩ් බන්ඩිගේ DNA සමඟ සැසඳෙන බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වී තිබේ. 1974 සිට 1978 දක්වා කාලය තුළ කාන්තාවන් 30කට අධික පිරිසක් ඝාතනය කර ඇති ටෙඩ් බන්ඩි, ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත්ම කුප්‍රකට අනුක්‍රමික ඝාතකයෙකු (Serial killer) ලෙස සැලකේ. ලෝරා ඈන් ඒම් අශ්වයන් පැදීමට සහ දඩයම් කිරීමට ප්‍රිය කළ, සිය සහෝදර සහෝදරියන් රැකබලා ගත් ක්‍රියාශීලී තරුණියක ලෙස ඇගේ පවුලේ සාමාජිකයෝ සිහිපත් කරති.














