තුවෙමින් පවතින ආර්ථික තත්ත්වය හමුවේ වාහන ආනයනය හේතුවෙන් සිදුවන විදේශ විනිමය පිටතට ගලායාම පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවිය යුතු බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කරයි. ආර්ථික තත්ත්වයන් මත පදනම්ව වාහන ආනයනය සඳහා තාවකාලික සීමාවන් පැනවීමට අවශ්‍ය විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා, එවැනි තීරණ ජනප්‍රිය නොවිය හැකි වුවද රටේ විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය මේ පිළිබඳව දැඩිව විමසිලිමත් විය යුතු බව අවධාරණය කළේය.
එවැනි සීමාවන් හඳුන්වා දෙන්නේ නම්, ඒවා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රජය ඉතා පැහැදිලි සහ විනිවිදභාවයකින් යුතු මාර්ගෝපදේශ නිකුත් කළ යුතු බවත්, විශේෂයෙන්ම දැනටමත් ණයවර ලිපි (LC) විවෘත කර ඇති හෝ ඇණවුම් කර මග එමින් පවතින වාහන සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම, මෙවැනි හදිසි තත්ත්වයන් හමුවේ රේගුව වැනි පාලන මධ්‍යස්ථානවල සිටින ඇතැම් නිලධාරීන් සිය පෞද්ගලික වාසි තකා නීතිය අවභාවිත කිරීමට ඉඩ ඇති බැවින්, ඒ පිළිබඳව දැඩි අධීක්ෂණයක් සහ වගවීමේ යාන්ත්‍රණයක් පැවතීම අත්‍යවශ්‍ය බව ද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ කෙරෙහි එල්ල විය හැකි බලපෑම හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවලට දැඩි පීඩනයක් එල්ල විය හැකි බව ආර්ථික විශේෂඥයන් ද මේ වන විට අනාවැකි පළ කර තිබේ.













