කළුතර ප්‍රදේශයේ බැංකු අසල රැඳී සිටිමින්, ඒ.ටී.එම්. (ATM) යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට එන වැඩිහිටියන්ට උදව් කරන මුවාවෙන් ඔවුන්ගේ බැංකු කාඩ්පත් සූක්ෂම ලෙස මාරු කළ 42 හැවිරිදි පුද්ගලයෙකු දකුණු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඉකුත් 30 වැනිදා කළුතර රජයේ බැංකු ශාඛාවකට කිසියම් රාජකාරියක් සඳහා ගොස් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඉදිරියේම, කාන්තාවක් තමාගේ බැංකු කාඩ්පත නාඳුනන අයෙකු මාරු කළ බව පවසමින් හඬා වැලපීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් බැංකුව අසලදීම සැකකරු කොටු කරගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී ඔහුට අයත් නොවන බැංකු කාඩ්පත් 11ක් සහ වෙනත් අයෙකුගේ රියදුරු බලපත්‍රයක් සොයාගෙන ඇති අතර, මොහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සහ වැල්ලවත්ත ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක මීට පෙර පැවරූ නඩු රැසක් පවතින බවයි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














