පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 150ක් පිරීම නිමිත්තෙන් කැලණිය විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘විදුලකර සරසවි පිය සටහන් – ඥාන ගවේෂී ශාස්ත්‍ර නිකේතනයක මතකාවර්ජන’ විශේෂ සැමරුම් උත්සවය ඊයේ (27) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැති මෙම උත්සවයේ ප්‍රධානත්වය දරනු ලැබුවේ එම විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය අතිපූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ සහ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසිනි.
විද්‍යාලංකාර මහා පිරිවෙනේ ආරම්භයට සහ ශ්‍රී ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනයේ පුනරුදයට මඟපෑදූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක හිමියන් සිහිපත් කරමින්, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි උන්වහන්සේගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු විය.
මහා සංඝරත්නය, විද්වතුන් සහ සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය මෙරට බෞද්ධ අධ්‍යාපන ඉතිහාසයේ විද්‍යාලංකාර පිරිවෙන ඉටුකළ මෙහෙවර ඇගයීම සඳහා වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ නූතන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විද්‍යාලංකාර සම්ප්‍රදාය සතු බුද්ධිමය උරුමය යළි සිහිපත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.














