ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙළ තීරණාත්මක අදියරක පවතිද්දී, විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ජනවාරි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ගත් මෙම තීරණය විෂය භාර අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.
තමා වෙත පැවරුණු තාක්ෂණික සැලසුම්, එනම් ලංවිම වෙනුවට අනුප්‍රාප්තික සමාගම් 6ක් පිහිටුවීම සහ වත්කම් පැවරීමේ කටයුතු සාර්ථකව නිම කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, මෙම ඉල්ලා අස්වීම පිටුපස විෂය භාර අමාත්‍යවරයා සමඟ පවතින අභ්‍යන්තර මතභේදයක් පවතින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම, ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කර තිබියදීත් මෙලෙස ඉල්ලා අස්වීම කැපී පෙනෙන සිදුවීමකි.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කිරීමට අවශ්‍ය “නියමිත දිනය” (Appointed Date)ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යවරයා කටයුතු නොකිරීම සහ එම ප්‍රමාදය හරහා සමස්ත ක්‍රියාවලියම අඩපණ වීම මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව වී තිබේ. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම නික්මයාම, මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනයන් කෙරෙහි කෙබඳු බලපෑමක් එල්ල කරනු ඇත්දැයි මේ වන විට දැඩි කතාබහක් මතු වී ඇත.














