ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කර නව විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව, එම මණ්ඩලයේ වෘත්තීය සමිති 24ක් ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, සේවක අයිතිවාසිකම් සහ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු නොකර මෙම පියවර ගත්තහොත් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් සියලු සේවකයන් සේවයෙන් බැහැර වන බවයි.
මෙහිදී අදහස් දැක්වූ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා ප්‍රකාශ කළේ, 2024 අංක 36 දරන විදුලිබල පනත ක්‍රියාත්මක කිරීමට පෙර සම්පූර්ණ කළ යුතු මූලික අවශ්‍යතා ඉටු නොකර රජය හදිසියේ මෙම තීරණය ගැනීමට සැරසෙන බවයි. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි සේවක සුරක්ෂිතභාවය තහවුරු කරන සාමූහික ගිවිසුමක් අත්සන් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවත්, ඒ වෙනුවට ලැබී ඇත්තේ අඩුපාඩු සහිත කෙටුම්පත් පමණක් බවත් ඉංජිනේරු සංගමයේ නියෝජිත එම්.අයි.ඒ. මිර්ෂාඩ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩල නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේ පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මණ්ඩලය අහෝසි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කරුණු 8කින් යුත් ලිපියක් විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කළද ඊට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බැවින්, බලධාරීන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර මෙම ගැටලු නිරාකරණය නොකරන්නේ නම් ඉතා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බව සේවක නියෝජිතයෝ වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.














