දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සේවකයින් 25 දෙනෙකුට සහන සැලසීම සඳහා පොළොන්නරුව ලංගම ඩිපෝවේ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ වැටුපෙන් එකතු කළ රුපියල් 7,20,000 ක මුදල මෙතෙක් අදාළ පිරිසට ලබා දී නොමැති බවට සේවකයෝ චෝදනා කරති. දෙසැම්බර් මාසයේ වැටුපෙන් එක් සේවකයෙකුගෙන් රුපියල් 1200 බැගින් සේවකයින් 600 දෙනෙකුගෙන් මෙම මුදල එකතු කර ඇත්තේ ඩිපෝ කළමනාකාරවරයාගේ අත්සනින් යුත් නිවේදනයක් මගිනි.
සේවකයින් පෙන්වා දෙන්නේ පීඩාවට පත් 25 දෙනා සඳහා රුපියල් 10,000 බැගින් ලබාදී ඇත්තේ ඩිපෝවේ සුබසාධන අරමුදලින් මිස වැටුපෙන් කපාගත් මුදලින් නොවන බවයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොළොන්නරුව ඩිපෝ කළමනාකරු බී.ඒ. ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ, අදාළ මුදල් තවමත් සුරක්ෂිතව පවතින බවත් එම මුදල් ලබාදීමට සේවකයින් අතරින්ම විරෝධයක් මතු වූ බැවින් එය ප්‍රමාද වූ බවත්ය. විරෝධතා දිගටම පැවතුණහොත් කපාගත් මුදල යළි සේවකයින්ගේ ගිණුම්වලටම බැර කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















