දේශපාලන කරළිය උණුසුම් කරමින් හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම ආන්දෝලනාත්මක නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසිනි.
රුපියල් මිලියන 75කට අධික වත්කම් නීතිවිරෝධී ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් විමල් වීරවංශ මහතාට එරෙහිව නඩුවක් පවරා තිබුණි. අද දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා විනිසුරුවරයා මෙම දැඩි තීරණය ගෙන ඇත.
විමල් අධිකරණය මඟහැරීම නිසා ඔහුගේ ඇපකරුවන්ටද මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
තමන් සතු සාධාරණව උපයාගත් බව ඔප්පු කළ නොහැකි දේපළ හා මුදල් සම්බන්ධයෙන් පවරා ඇති මෙම නඩුව ඉදිරියේදී වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කෙසේවෙතත් මීට ටික වේලාවකට පෙර විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණ තිබේ














