විශ්‍රාමිකයන් සඳහා මෙතෙක් පැවති 15%ක විශේෂිත බැංකු පොළී අනුපාතය වත්මන් රජය විසින් 7% දක්වා අඩු කිරීම හරහා මෙරට වැඩිහිටි පරපුර දැවැන්ත ආර්ථික අර්බුදයකට ඇද දමා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ වැඩිහිටි පරපුර සුරක්ෂිත කරන බවට පොරොන්දු වී බලයට පත් රජය දැන් සිදුකරන්නේ පැය 24 පුරාම බොරුව සහ රැවටිල්ල රජ කරවන පාලනයක් බවයි.
එදා රුපියල් ලක්ෂ 15ක තැන්පතුවකට ලැබුණු 15%ක පොලී ආදායම අද 7% දක්වා පහත වැටීම නිසා ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන් පිරිසක් සිය ජීවනෝපාය සපයා ගත නොහැකිව අසරණ වී ඇති බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, රජයේ මෙම අසාර්ථක පාලනය නිසා ජීවිතයේ සැදෑ සමය ගත කරන ජනතාවගේ ජීවන තත්ත්වය බිඳ වැටී ඇති බැවින් මේ පිළිබඳව වහාම අවධානය යොමු කර සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.














