විශාල පියයුරු තිබීම බොහෝ දෙනෙකු ආකර්ෂණීය දෙයක් ලෙස සැලකුවද, එය කාන්තාවන්ගේ සෞඛ්‍යයට සහ ජීවන තත්ත්වයට බරපතල ගැටලු ඇති කරන බව නවතම වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. ආර්ජන්ටිනාවේ 52 හැවිරිදි මහාචාර්යවරියක වන රැකෙල් පවසන්නේ, තම විශාල පියයුරු නිසා ඇති වූ ලැජ්ජාව සහ වේදනාව හේතුවෙන් 2010 වසරේදී ඇය පියයුරු කුඩා කිරීමේ සැත්කමකට යොමු වූ බවයි. එමගින් තමන්ට පෙර නොදැනුණු නිදහස් හැඟීමක් ලැබුණු බව පවසන ඇය, ප්‍රමාණයෙන් විශාල පියයුරු සහිත කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව ද කරුණු අනාවරණය කරයි.
විශේෂයෙන්ම දීර්ඝකාලීන කොන්දේ වේදනාව, බෙල්ලේ වේදනාව සහ හිසරදය වැනි කායික වේදනාවන් මෙන්ම පියයුරුවල බර නිසා ශරීරය ඉදිරියට නැඹුරු වීමෙන් ඇති වන අක්‍රමික ඉරියව් ද මෙම තත්ත්වය නිසා හටගනී. මීට අමතරව ව්‍යායාම කිරීමේදී සහ දෛනික වැඩකටයුතුවලදී චලනයන් සීමා වීම, නිසි ලෙස නින්ද නොයාම සහ හුස්ම ගැනීමේ අපහසුතා ද ඇති විය හැකිය. මෙම කායික බලපෑම්වලට අමතරව සමාජය හමුවේ දැනෙන ලැජ්ජාව සහ මානසික පීඩනය ද කාන්තාවන් මුහුණ දෙන ප්‍රබල ගැටලුවකි.
ජාත්‍යන්තර සෞන්දර්යාත්මක ප්ලාස්ටික් සැත්කම් සංගමයේ 2024 දත්තවලට අනුව, ලොව පුරා පියයුරු කුඩා කිරීමේ සැත්කම් 652,676ක් සිදු කර ඇති අතර ඉන් වැඩිම ප්‍රමාණයක් බ්‍රසීලයෙන් වාර්තා වේ. පෝර්ට්ස්මත් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පෙන්වා දෙන්නේ නොගැලපෙන තනපටයක් පැළඳීම නිසා පටක හානි, හෘද ස්පන්දනය වෙනස් වීම සහ සම ඇදීම සිදුවිය හැකි බවයි. පියයුරු කුඩා කිරීමේ සැත්කම් යනු හුදෙක් රූපලාවන්‍ය කටයුත්තක් නොව, එය කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ගන්නා වැදගත් තීරණයක් බව වෛද්‍ය මතය වී තිබේ.














