2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරනු ලබන ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කුසලානය ලෝක සංචාරයේ එක් අදියරක් ලෙස හෙට (21) දිවයිනට රැගෙන ඒමට නියමිතය. ජනවාරි 21 සිට 24 දක්වා දින හතරක් පුරා දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක මෙම කුසලානය ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ.
මෙම කුසලාන ප්‍රදර්ශන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට ප්‍රධාන අවස්ථාවක් හිමිවන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදීය.
ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට ද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර උද්යෝගය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.













