අම්පාර දිස්ත්‍රික්කයේ මහා කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වී ඇතත්, රජයේ වී අලෙවි මණ්ඩලයේ (PMB) ගබඩා විවෘත නොකිරීම හේතුවෙන් තමන් පෞද්ගලික වෙළෙඳුන්ගේ ගොදුරක් බවට පත්ව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති. රජයේ මැදිහත්වීමක් නොමැති වීම නිසා පෞද්ගලික අංශය වී කිලෝවක් රුපියල් 80 ත් 90 ත් අතර ඉතා අඩු මිලකට මිලදී ගන්නා බවට ඔවුහු චෝදනා කරති.
රජයේ සහතික මිල රුපියල් 120-140 අතර පැවතියද, දැනට අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 80-90 වැනි සොච්චම් මුදලකටය.
පසුගිය කන්නයේ මිලදී ගත් වී තොග තවමත් රජයේ ගබඩාවල පැවතීම නිසා නව අස්වනු මිලදී ගැනීමට ඉඩක් නොමැති බව ගොවි සංවිධාන පවසයි.
පොහොර, කෘෂිකර්ම උපකරණ සහ අලි කරදර මැද වගා කළ ගොවීන්ට මෙම මිල හරහා සිය වගා ණය පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
වහාම ගබඩා විවෘත කර සාධාරණ සහතික මිලට වී මිලදී ගැනීමට කටයුතු නොකළහොත් අම්පාරේ ගොවීන් ණය උගුලක සිරවනු ඇති බව ඔවුහු අවධාරණය කරති.














