8 September 2024
#දේශීය #පුවත්

‘වෘත්තීය සමිති එක්ක එකතු වෙන්න එපා’: අලුත් පත්වීම් ලබන ගුරුවරුන්ගෙන් අධ්‍යාපන ඇමති ඉල්ලයි

වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු නොවන ලෙසට නවක ගුරු පත්වීම් ලබා ගන්නා උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ගුරුවරුන් ලබා දුන් අධ්‍යාපනය හේතුවෙන් මොවුන්ට උපාධිධාරීයෙකු ලෙස ගමනක් යෑමට හැකියාව ලැබී ඇතැයි පැවැසූ ඇමැතිවරයා පාසල් අධ්‍යාපන කටයුතුවලින් ඈත්ව වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගියහොත් දරුවන්ගේ අනාගතය අඳුරු වන බව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පත්වීම් 60ක් සහ උපාධිධාරීන් 1706 දෙනෙකුට හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීමට අරලියගහ මන්දිරයේදී පසුගිය ජූලි 3 වන දා පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීය.

අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පනතකට එරෙහිව එදා සිටි ගුරුවරුන් පොත අත්සන් නොකර දරුවන්ට ඉගැන්වීම තුළින් වෘත්තීය ක්‍රියාමාර්ග ගත් බව පැවැසූ ඇමැතිවරයා වත්මන් ගුරුවරුන් එවැනි සිදුවීම් ආදර්ශයට ගැනීම අවශ්‍ය බව කීය.

මෙවැනි ගුරු පත්වීම් ලබා දීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව පැවැසූ හෙතෙම ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක වුවද ආණ්ඩුව ගුරු පත්වීම් ලබා දීමේ අභියෝගය භාර ගෙන ඇතැයි සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *