වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට වෙනිසියුලානු බොරතෙල් රැගත් දැවැන්ත නෞකා ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ පස්කගෝලා (Pascagoula) වරාය වෙත පැමිණෙමින් තිබේ. ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වී ලෝක තෙල් මිල ඉහළ යද්දී, ඇමෙරිකානු ෂෙව්රොන් (Chevron) සමාගම වෙනිසියුලාවෙන් බොරතෙල් බැරල් ලක්ෂ ගණනින් ආනයනය කර සිය පිරිපහදු මගින් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.
වෙනිසියුලාව සතුව ලොව විශාලතම තෙල් සංචිත පැවතිය ද, පසුගිය කාලයේ පනවා තිබූ සම්බාධක හේතුවෙන් ඒවා ඇමෙරිකාවට ලබාගත නොහැකි විය. නමුත් වත්මන් දේශපාලන වෙනස්කම් සමඟ ෂෙව්රොන් සමාගම දිනකට වෙනිසියුලානු බොරතෙල් බැරල් 250,000 ක් පමණ ආනයනය කරන අතර, එය ඉදිරියේදී බැරල් 400,000 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. වෙනිසියුලානු තෙල් ඉතා ඝනකම් සහ සැල්ෆර් අධික (Heavy and Sour) තෙල් වර්ගයක් වුවද, පස්කගෝලා පිරිපහදුව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ මෙවැනි තෙල් පිරිපහදු කිරීම සඳහාය.
කෙසේ වෙතත්, වෙනිසියුලාවෙන් තෙල් ගලා ආව ද ඇමෙරිකානු පාරිභෝගිකයන්ට තවමත් ඉන්ධන මිල පහත වැටීමේ සහනය ලැබී නැත. ඉරාන යුද්ධය නිසා ඇති වූ ගෝලීය මිල උච්චාවචනයන් මෙයට හේතුව වී ඇති බව ෂෙව්රොන් අධ්‍යක්ෂ ටිම් පොටර් පවසයි.වෙනිසියුලානු තෙල් සැපයුම ස්ථාවර වීම ඉදිරි මාස කිහිපය තුළ ලෝක ඉන්ධන මිල පාලනය කිරීමට තීරණාත්මක සාධකයක් වනු ඇතැයි බලශක්ති විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














