පෙබරවාරි 05 – කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ තිත්තවැල්මංකඩ, වේවැල්දෙණිය ප්‍රදේශයේදී ඉකුත් 03 වැනිදා සිදුවූ රිය අනතුරකින් පූගොඩ පොලිස් විශේෂ කාර්ය බළකායට (STF) අනුයුක්තව සේවය කළ 42 හැවිරිදි පොලිස් සැරයන්වරයකු මියගොස් තිබේ. අරියනන්දලාගේ විකුම් වර්ණ පුෂ්ප නමැති නියදුරුපොළ පදිංචිව සිටි මෙම දෙදරු පියා, සිය අසනීප වූ දරුවාට ප්‍රතිකාර ගැනීමට නිට්ටඹුව ප්‍රදේශයට ගොස් ආපසු එන අතරතුර වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සිය බිරිඳ කැඳවාගෙන ඒම සඳහා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
යතුරුපැදිය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇති අතර, බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා වරකාපොළ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව දංඕවිට පොලිසිය පවසයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ රිය අනතුර හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට සිදුවූ බරපතළ හානි මරණයට හේතු වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් දංඕවිට පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














