ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නම, ලාංඡනය සහ සන්නාම රූප භාවිතා කරමින් වට්ස්ඇප් (WhatsApp) සහ ෆේස්බුක් (Facebook) හරහා පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් එම සමාගම අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. මෙම පණිවුඩය සම්පූර්ණයෙන්ම වංචනික එකක් බවත්, එවැනි ව්‍යාජ දීමනාවලට හසු නොවන ලෙසත් ගුවන් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසිදු අවස්ථාවක වට්ස්ඇප් හෝ වෙනත් සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික දත්ත හෝ ගෙවීම් ඉල්ලා නොසිටින බව ද එහිදී අවධාරණය කර ඇත.
පැතිර යන සැකකටයුතු ලින්ක් (Links) මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, ජාතික හැඳුනුම්පත් අංක, විදේශ ගමන් බලපත්‍ර තොරතුරු, OTP අංක හෝ බැංකු කාඩ්පත් දත්ත වැනි සංවේදී තොරතුරු කිසිවෙකු සමඟ බෙදා නොගන්නා ලෙසත් මගීන්ට සහ සාමාන්‍ය ජනතාවට උපදෙස් ලබා දී තිබේ. යම් දීමනාවක් හෝ පණිවුඩයක් සම්බන්ධයෙන් සැකයක් පවතින්නේ නම්, ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය, ජංගම යෙදුම (Mobile App) හෝ තහවුරු කරන ලද නිල සමාජ මාධ්‍ය පිටු හරහා පමණක් එහි සත්‍යතාව තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.















