වර්ෂ 2026 සඳහා වන ඉන්දීය මධ්‍යම රජයේ අයවැය මගින් ශ්‍රී ලංකාවට ආධාර පිණිස ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය අද (01) වාර්තා කළේය. “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහය දැක්වීම මෙම මූල්‍ය වෙන් කිරීමේ මූලික අරමුණ බව සඳහන් වේ.
මෙම මුදල සෞඛ්‍ය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක කෙරෙන ඉන්දීය ආධාර ලබන ව්‍යාපෘති සඳහා මෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට යොදා ගැනීමට නියමිතය. කලාපීය සහයෝගීතාවය වර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දියාව මෙවර අයවැයෙන් සිය අසල්වැසි රටවල් කිහිපයක් සඳහාම මෙලෙස මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ශ්‍රී ලංකාවට හිමිවූ මෙම ප්‍රදානය දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














