ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය 2025 වසරේ මුල් භාගය වන විට සියයට 38.4 දක්වා සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා මගින් හෙළි වී තිබේ. මෙරට වයස අවුරුදු 5 ත් 69 ත් අතර ජනගහනයෙන් තමන්ටම ස්වාධීනව පරිගණකයක් භාවිතා කළ හැකි පිරිස පදනම් කර ගනිමින් මෙම දත්ත ගණනය කර ඇත.
කලාපීය වශයෙන් සලකා බැලීමේදී නාගරික අංශය සියයට 52.1 ක ඉහළම සාක්ෂරතා අනුපාතයක් වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශයේ එම අගය සියයට 36.6 ක් ලෙස සටහන් වේ. වතු අංශය සියයට 18.6 ක ප්‍රතිශතයක් වාර්තා කර ඇති අතර ස්ත්‍රී පුරුෂ භේදය අනුව සලකා බැලීමේදී පිරිමින් අතර එම අගය සියයට 39.9 ක් ද කාන්තාවන් අතර සියයට 37.1 ක් ද වේ. එම පාර්ශ්වයන් දෙක අතර පරතරය ඉතා අවම මට්ටමක පැවතීම සුවිශේෂී තත්ත්වයකි.
වයස් කාණ්ඩ අනුව සලකා බැලීමේදී වයස අවුරුදු 15 ත් 19 ත් අතර තරුණ පිරිස සියයට 75.6 ක අගයක් වාර්තා කරමින් සියලු වයස් කාණ්ඩ අතරින් ඉදිරියටම පැමිණ තිබේ. අධ්‍යාපන මට්ටම මෙම කුසලතා කෙරෙහි සෘජුව බලපා ඇති අතර, උසස් පෙළ හෝ ඊට වැඩි සුදුසුකම් සහිත පිරිස අතර සාක්ෂරතාව සියයට 78.6 ක් වැනි ඉහළ අගයක් ගනී. ඉංග්‍රීසි භාෂා දැනුම සහිත පුද්ගලයන් අතර ද මෙම ඩිජිටල් සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














