ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කොන්ටම් පරිගණකය (Quantum Computer) පසුගියදා දොරට වැඩියේය.
2026 ජනවාරි 21 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුවට අනුබද්ධිත කොන්ටම් පරිගණකකරණයේ ගණිතමය ආකෘති නිර්මාණය සඳහා වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී මෙම ඓතිහාසික විවෘත කිරීම සිදු විය.
නව උපකුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට මහාචාර්ය අනුරාධ මහසිංහ ප්‍රමුඛ විද්වතුන් පිරිසක් සහභාගී වූහ.
චීනයේ ස්පින්කිවු (SpinQ) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම පරිගණකය න්‍යෂ්ටික චුම්බක අනුනාද (Nuclear Magnetic Resonance) තාක්ෂණය මත ක්‍රියාත්මක වන්නකි. ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල රැසක අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතු සඳහා භාවිත කරන මෙම උපාංගය, කොන්ටම් පරිගණකකරණයේ සියලුම අංග ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට සහ ඉගැන්වීමට ලැබුණු අතිනවීන පහසුකමකි. මහාචාර්ය අනුරාධ මහසිංහ මහතාගේ දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට හිමිවූ මෙම තාක්ෂණය, සම්ප්‍රදායික පරිගණක මගින් විසඳීමට වසර සිය ගණනක් ගතවන සංකීර්ණ ගණිතමය ගැටලු ඉතා කෙටි කාලයකින් විසඳීමේ හැකියාව සතු වේ.
මෙම නව පහසුකම ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලාංකික සිසුන්ට රාජ්‍ය මට්ටමින් පිළිගත් උසස් කොන්ටම් අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව දැන් කොළඹ විශ්වවිද්‍යාලය තුළින් විවර වී ඇත.
රසායන විද්‍යාව, ජෛව වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රවල නව ඖෂධ නිපදවීම සහ සංකීර්ණ දත්ත විශ්ලේෂණය සඳහා මෙම තාක්ෂණය යොදා ගත හැකිය. දැනටමත් පරිගණක ගණිතය පිළිබඳ ගෞරව උපාධි මට්ටම දක්වා කොන්ටම් පරිගණනය හැදෑරීමට අවස්ථාව ලබා දී ඇති කොළඹ විශ්වවිද්‍යාලය, මෙම නව පර්යේෂණාගාරය හරහා දකුණු ආසියාවේ ප්‍රමුඛතම තාක්ෂණික මධ්‍යස්ථානයක් බවට පත්වීමට අපේක්ෂා කරයි.














