ශ්‍රී ලංකාව කෘතිම බුද්ධිය (AI) භාවිතය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පෙන්වුවද, ලොව අනෙකුත් රටවල් හා සැසඳීමේදී තවමත් සැලකිය යුතු මට්ටමකින් පසුපසින් සිටින බව මයික්‍රොසොෆ්ට් AI ආර්ථික විද්‍යා ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. “2025 දී ගෝලීය AI භාවිතය” යන මැයෙන් නිකුත් වූ මෙම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ උත්පාදක AI මෙවලම් භාවිතය 2025 වසරේ මුල් භාගයේ පැවති 6.2% සිට වසර අවසානය වන විට 6.6% දක්වා සුළු වර්ධනයක් පමණක් වාර්තා කර ඇත. මෙම අගය 16% ක් වන ගෝලීය සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර, අසල්වැසි ඉන්දියාව (15.7%) සහ බංග්ලාදේශය (7.1%) වැනි රටවලට වඩා ද ශ්‍රී ලංකාව පසුපසින් සිටී.
ගෝලීය වශයෙන් දියුණු රටවල් (Global North) සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් (Global South) අතර ඩිජිටල් පරතරය තවදුරටත් පුළුල් වෙමින් පවතින බව විශේෂඥයෝ පවසති. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (64%) සහ සිංගප්පූරුව (60.9%) වැනි රටවල් ශක්තිමත් රජයේ ප්‍රතිපත්ති සහ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා කරන ආයෝජන හේතුවෙන් AI භාවිතයෙන් ලොව පෙරමුණ ගෙන ඇත. දකුණු කොරියාව වැනි රටවල් දේශීය භාෂාවලින් AI ආකෘති නිර්මාණය කිරීම හරහා එම තාක්ෂණය එදිනෙදා ජීවිතයට වඩාත් සමීප කර තිබේ.
ශ්‍රී ලංකාව මෙම තාක්ෂණික තරඟයෙන් ඉදිරියට ඒමට නම් AI මෙවලම් දේශීයකරණය කිරීම, ඒවායේ මිල ගණන් දැරිය හැකි මට්ටමට පත් කිරීම සහ තාක්ෂණික පහසුකම් අඩු ප්‍රජාවන් ඒ සඳහා දිරිමත් කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥයෝ යෝජනා කරති. එවැනි ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වුවහොත්, වේගයෙන් වර්ධනය වන ගෝලීය AI ආර්ථිකය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් කොන්වීමේ අවදානමක් පවතින බව වාර්තාව අනතුරු අඟවයි. 2025 දෙවන භාගයේදී ලොව පුරා AI භාවිතය 1.2% කින් ඉහළ ගොස් ඇති අතර එය ක්‍රමයෙන් ප්‍රධාන ධාරාවේ මෙවලමක් බවට පත්වෙමින් තිබේ.














