ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන සභාවක් (Education Council) පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටු වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ කටයුතු ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයාගේ මඟපෙන්වීම යටතේ යෝජිත මෙම අධ්‍යාපන සභාව මගින් මෙරට අධ්‍යාපන පද්ධතියේ සමස්ත ප්‍රමිතිය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙහි ප්‍රධාන අරමුණු අතර නීති සම්පාදනය, ගුණාත්මකභාවය සහතික කිරීම, අධ්‍යාපන ආයතන සහ පාඨමාලා සඳහා ප්‍රතීතනය ලබා දීම මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයන් සහතික කිරීම ඇතුළත් වේ.
අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුවේ සභාපති මහින්ද ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම මහජන උපදේශන ක්‍රියාවලිය ක්‍රියාත්මක වේ. අදාළ කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන moe.gov.lk වෙත පිවිසීමෙන් මහජනතාවට ලබාගත හැකිය.
මේ පිළිබඳව ලිඛිත අදහස් ඉදිරිපත් කිරීමට කැමති අයට 2026 මැයි 12 වනදා දක්වා කාලය ලබා දී ඇත. මහජන අදහස් සහ යෝජනා තැපෑලෙන්, ෆැක්ස් මගින් හෝ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ යොමු කළ හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














