සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලිය දෙරටටම වැදගත් වන්නේ එළඹෙන පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානයට පෙර මෙරට දේශගුණික තත්ත්වයන්ට හුරු වීමට මෙය කදිම අවස්ථාවක් වන බැවිනි.
අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට පෙර තරග බිමෙන් ඉවත්ව සිටි චරිත් අසලංක මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර, වසර දෙකකට පමණ පසු ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා යළි එක්දින සංචිතයට කැඳවා තිබීම කැපී පෙනෙන විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පැතුම් නිශ්ශංක සහ කමිල් මිෂාර අද පිටියට පිවිසෙන බව නායක චරිත් අසලංක තහවුරු කර ඇති අතර, සදීර සමරවික්‍රම සහ කමිඳු මෙන්ඩිස් මැදපෙළ ශක්තිමත් කිරීමට සූදානමින් සිටිති. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතිල්ල දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ලබා දෙන ස්වභාවයක් ගන්නා බැවින් වනිඳු හසරංග, දුනිත් වෙල්ලාල්ලාගේ සහ මහීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයන්ගෙන් එංගලන්ත පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එංගලන්ත කණ්ඩායම හැරී බෲක්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර, ජෝ රූට්, ජොස් බට්ලර් සහ ආදිල් රෂීඩ් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඔවුන්ගේ සංචිතය සමන්විත වේ.
කොළඹ පවතින සෙල්සියස් අංශක 32ක පමණ දැඩි උණුසුම් කාලගුණය එංගලන්ත ක්‍රීඩකයන්ට යම් පීඩනයක් එල්ල කළ හැකි වුවද, අද දිනයේ වැසි ඇති වීමේ සම්භාවිතාව අවම බැවින් සම්පූර්ණ තරගයම බාධාවකින් තොරව නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වනු ඇත. දෙරට අතර මෙතෙක් පැවැති එක්දින තරග ඉතිහාසය දෙස බැලීමේදී එංගලන්තය තරග 38ක් සහ ශ්‍රී ලංකාව තරග 37ක් ජයගෙන ඉතා කරට කර මට්ටමක පසුවන බැවින් අද තරගය බෙහෙවින් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.














