ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් ජාතික මට්ටමේ පුහුණුකරු තනතුරු සඳහා රයන් වැන් නයිකර්ක් (Ryan van Niekerk) සහ ජෝර්දාන් ග්‍රෙගරි (Jordan Gregory) යන මහත්වරුන්ව අද (02) පත් කර තිබේ. මෙම නව පත්වීම් හරහා ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම ජාතික කණ්ඩායම්වල දක්ෂතා ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
ජාතික පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් වූ රයන් වැන් නයිකර්ක් මහතා, 2023 සිට 2026 දක්වා කාලය තුළ නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ සහ අතුරු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකි. ඔහු විශේෂයෙන්ම වේග පන්දු යැවීමේ අංශය අධීක්ෂණය කරනු ලබන අතර, පසුගිය ලෝක කුසලාන තරගාවලි කිහිපයකදීම නෙදර්ලන්ත කණ්ඩායමේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දී ඇත.
ජාතික පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ජෝර්දාන් ග්‍රෙගරි මහතා පත් කර ඇති අතර, ඔහු ජාතික මට්ටමේ සියලුම කණ්ඩායම්වල පන්දු රැකීම සහ දඟ පන්දු යැවීම පිළිබඳ වගකීම දරනු ලබයි. මීට පෙර නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනයේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, ජාත්‍යන්තර මට්ටමේ නවීන පුහුණු ක්‍රමවේද ශ්‍රී ලංකා කණ්ඩායමට හඳුන්වා දීමට නියමිතය.














