පෙබරවාරි 05 – දකුණු කොරියානු ආර්ථිකයේ වර්ධනය සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලබා දෙන සුවිශේෂී දායකත්වය එරට ජාතික සභාවේ නියෝජ්‍ය කථානායක ලී හක්-යං (Lee Hak-young) මහතාගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ පැවැති නිල හමුවකදී නියෝජ්‍ය කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. කොරියානු ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා දීම පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී කොරියානු රජයට සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාව සතු දක්ෂ හා පුහුණු ශ්‍රම බලකාය පිළිබඳව ද කරුණු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි කලාපීය වෙළඳපොළවල් වෙත යොමු කිරීමේ හැකියාව පවතින බැවින්, මෙරට ආයෝජනය කිරීමට කොරියානු ආයෝජකයන්ට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ලී හක්-යං මහතා සඳහන් කළේ, අතීතයේදී දකුණු කොරියාව ද මෙවැනිම අසීරු කාලපරිච්ඡේදයන්ට මුහුණ දුන් බවත්, ශ්‍රී ලංකාව ද ඉතා ඉක්මනින් සංවර්ධිත ආර්ථිකයක් කරා ගමන් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත්ය. දෙරට අතර පවතින වසර 50ක මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් වීසා ගැටලු විසඳීම සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව පුළුල් කිරීම පිළිබඳව ද නායක දෙපළගේ අවධානය යොමු විය.














