ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් කාන්තාවන් ‘ආනයනය’ (Importing) කළ යුතු බවට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානියා පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (DP) නෙරපා හැරීමට අද (09) තීරණය කර තිබේ. දකුණු කොරියාවේ පාලක පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව මෙම තීරණය ගත් බව එම පක්ෂයේ ප්‍රකාශක පාක් සූ-හ්යුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානී කිම් හී-සු (Kim Hee-su) පසුගිය බදාදා පැවැති රූපවාහිනී සංවාදයකදී ප්‍රකාශ කර තිබුණේ, එරට ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන පරිහානියට විසඳුමක් ලෙස තරුණ පිරිමින්ට විවාහ කර දීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහ වියට්නාමයෙන් තරුණියන් ගෙන්වා ගත යුතු බවයි. මෙම ප්‍රකාශයත් සමඟ දකුණු කොරියාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි මහජන විරෝධයක් එල්ල විය.
තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කිම් හී-සු පසුව සමාව අයැද සිටි අතර, ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන අර්බුදය පෙන්වා දීම පමණක් තම අරමුණ වූ බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශය මානව ගරුත්වයට හානිකර සහ ජාතිවාදී ස්වරූපයක් ගන්නා බැවින් ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමට දකුණු කොරියානු පාලක පක්ෂය පියවර ගෙන ඇත.














