අමෙරිකාව සහ ඉරානය අතර දැනට ක්‍රියාත්මක වන සටන් විරාම සාකච්ඡා සඳහා ලෙබනනය ද අනිවාර්යයෙන්ම ඇතුළත් කරගත යුතු බව පාකිස්ථාන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන අහ්සාන් ඉක්බාල් මහතා පවසයි. බීබීසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, කලාපයේ එක් කොටසක් ලේ වැගිරීම්වලට ලක්වෙද්දී තවත් කොටසක සාමය ගැන සාකච්ඡා කිරීම ප්‍රායෝගික නොවන බැවින් මෙය “සමස්ත කලාපයම ආවරණය වන සටන් විරාමයක්” (package ceasefire) විය යුතු බවයි.
මෙම ඓතිහාසික සාම අවස්ථාව කඩාකප්පල් කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකරනු ඇතැයි පාකිස්ථානය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී දෙපාර්ශවයම එකඟතාවයකට ගෙන ඒමට උපරිම උත්සාහයක් ගන්නා බවත්, වත්මන් සටන් විරාමය තවදුරටත් දීර්ඝ කරමින් ඉදිරි සාකච්ඡා වට සඳහා මග පාදා ගැනීම මෙම හමුවේ සාර්ථකත්වය මැන බලන නිර්ණායකය වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














