තද ගතානුගතික කතෝලික රටක් වන පිලිපීනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමලිංගික යුවළයන්ට දේපළවල සම-අයිතිය (Co-ownership) හිමිවිය හැකි බවට ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ. දේපළක් අත්පත් කර ගැනීම සඳහා දෙපාර්ශවයම දායක වී ඇති බව ඔප්පු කළ හැකි නම්, ඔවුන් දෙදෙනාම එහි අයිතිකරුවන් ලෙස පිළිගත හැකි බව අධිකරණය මෙහිදී අවධාරණය කළේය. පිලිපීන පවුල් පනතේ (Family Code) 148 වැනි වගන්තිය සමලිංගික යුවළක් සම්බන්ධ නඩුවකදී දේපළ අයිතිය තීරණය කිරීම සඳහා භාවිත කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් වේ.
මැනිලා නුවර නිවසක් සම්බන්ධයෙන් වසර කිහිපයක් තිස්සේ ආරවුලක පැටලී සිටි කාන්තා යුවළක් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත. විවාහය ස්ත්‍රියක සහ පුරුෂයෙකු අතර සිදුවිය යුත්තක් ලෙස පනතේ අර්ථ දක්වා තිබුණද, නීත්‍යානුකූලව විවාහ විය නොහැකි නමුත් එකට ජීවත්වන පුද්ගලයන්ගේ දේපළ අයිතිය පිළිබඳව සඳහන් 148 වැනි වගන්තිය ලිංගභේදය මත පදනම්ව වෙනස් කොට සැලකීමක් සිදු නොකරන බව විනිසුරුවරු පෙන්වා දුන්හ. ලෝකයේ දික්කසාදය තහනම් කර ඇති එකම රට (වතිකානුව හැර) වන පිලිපීනය තුළ එල්.ජී.බී.ටී (LGBT) ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලැබුණු ඉතා වැදගත් ජයග්‍රහණයක් ලෙස මෙය සැලකේ.














