ආදරේ කියන්නේ සීමා මායිම් නැති දෙයක් කියලනේ ඔය කවි සිංදු වල වුනත් කියන්නේ. හැබැයි එහෙම කිවුවට ඉතින් ලෝකේ ඕනෑ පදමට ආදරේට සීමා මායිම් තියෙනවා. කුලය, පංතිය, ආගම, ජාතිය වගේ ඕනෑම දෙයක් මේ ආදරේට හරස් වෙන සීමා මායිම් වෙන්න පුලුවන්. සමහරවිට ස්ත්‍රී පුරුෂ භාවයත් ආදරේට සීමා වැටකඩොළු පනවන දෙයක් වෙන්න පුලුවන්ද? ඔව් ඒ කිවුවේ සමරිසි ආදරේ ගැන තමයි. කොටින්ම කියනවා නම් ගැහැණියකට බැරිද තවත් ගැහැණියකට ආදරේ කරන්න? පිරිමියෙක්ට බැරිද තවත් පිරිමියෙක්ට ආදරේ කරන්න? ආදරේට මනුස්සයෙක් වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැතිද? මේවා ඇත්තටම අදටත් ප්‍රශ්න. හරියටම කියනවා නම් සමාජ ප්‍රශ්න. මේවා ගැන කථා කරන එකත් ශ්‍රී ලංකාව වගේ තවමත් සාම්ප්‍රදායික රටක ප්‍රශ්නම තමයි. හැබැයි අඩු තරමින් සමරිසිභාවය සම්බන්ධයෙන් තියෙන දුර්මත කීපයක් හරි නැති කරලා දාන්න, සම සෙනෙහසින් බැඳෙන අයට සමාජයෙන් කොන් කිරීම් වල ඉඳලා ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන්න සිද්ධ වීම අඩු කරන්න මේ දේවල් ගැන එළිපිටම කතා කරන්න වෙනවා.
මොනවද මේ සමලිංගික, සමරිසි, සමසෙනෙහස් කතා?
සරලයි. පිරිමියෙක් පිරිමියෙක්ට ආදරේ කළොත් ඒ කෙනාව පොදුවේ Gay කියලා ඉංග්‍රිසියෙන් හඳුන්වනවා. ගැහැණියක් ගැහැණියක් හා බැඳෙනවා නම් එයාව ඉංග්‍රීසියෙන් Lesbian කියලා හඳුන්වනවා. මේ නැඹුරුතාවයට Homosexuality කියනවා. ඕක සිංහලට එනකොට ස්ත්‍රී හෝ පුරුෂ සමලිංගිකත්වය කියලා තමයි ආවේ. හැබැයි පසුකාලීනව මේ ගැන කතාබහ සමාජය ඇතුළේ ඇතිවෙනකොට වඩාත් නිවැරදිව මේ බැඳීම අර්ථ දක්වන්න පුලුවන් වචන වුවමනා වුනා. සමරිසිභාවය කියන එක ආවේ එහෙම වෙන්න ඕන. දැන් බොහෝ විට සමසෙනෙහස් කියන වචනය භාවිතා වෙනවා. ඒ වචනය ඇතුළේ මේක හුදු ලිංගිකත්වය සම්බන්ධ කාරණාවක් කියන එකට වඩා, සෙනෙහස කියන සංකල්පය ස්ථානගත වෙනවා කියන එකත් බැහැර කරන්න බැහැ.
සමලිංගිකත්වය සමාජ විරෝධී නැතිද?
මේ චෝදනාව ගැන කතා කරන්න කලින් සමාජ විරෝධී කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. මනුස්සයෙක් තමන් කැමති තවත් මනුස්සයෙක් එක්ක ආදරයෙන් බැඳෙන එක සමාජයට විරුද්ධ දෙයක් වෙන්නේ කොහොමද? සමාජය පවතින්නේම සමාජ සම්බන්ධතා එක්ක නෙවෙයිද? අන්න එහෙම කියනකොට ආයෙමත් අනික් පැත්තෙන් එන චෝදනාවක් තියෙනවා. විෂම ලිංගිකත්වය නිසා සමාජය පවතිනවා, වර්ගයා බෝ වෙනවා. සමසෙනෙහස නිසා වර්ගයා බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ, අන්න ඒ නිසා සමාජයේ පැවැත්මට ඒක තර්ජනයක් කියලා.
ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. ඕනෑම සමාජයක් ගත්තොත් සමරිසි නැඹුරුතාවයක් සක්‍රියව තියෙන මිනිස්සු ඉන්නේ අතිශයින්ම සුළුතරයක්. ශ්‍රී ලංකාවේ ගත්තොත් සක්‍රිය සමරිසි පුද්ගලයින් ඉන්නේ 7500 ක් විතර කියලා තමයි කියන්නේ. හැබැයි සමස්තයක් විදියට ගත්තහම මේක සමස්ත ජනගහණයෙන් උපරිම 5% ක් වගේ වෙන්නත් පුලුවනිලු. දැන් ඔය සංඛ්‍යාලේඛන දිහා බැලුවහම අපිට පරිස්සම් සහගතව කියන්න පුලුවන්, සමසෙනෙහස නිසා ‘ජාතිය’ වඳවෙලා යෑමේ අවදානමක් නැහැයි කියලා.
ඉස්සරත් ඔය නාඩගං තිබුණද?
අනිවාර්යයෙන්ම අපිට එක දෙයක් සහතික කරලා කියන්න පුලුවන්. වර්තමානයේ අපි දකින ඕනෑම නාඩගමක් අතීතයෙත් තිබිලා තියෙනවා. සමහර වෙලාවට තාක්ෂණය වගේ දේවල් නොතියෙන්න ඇති. එහෙම වුනත් සමාජමය වශයෙන් අපි දකින හැම දෙයක්ම ඉතිහාසය පුරාම දකින්න ලැබෙන දේවල්. අන්න ඒ නිසා ගොඩක් දෙනෙක් කියන “ඔව්වා දැන් ලෝකේ තියෙන විප්‍රකාර” කියන කතාව ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් සමසෙනෙහස කියන එක ඉතිහාසය පුරාම තිබුණු දෙයක්. ඒක ඉතිහාසය පුරාම පිළිගැනුණු දෙයක්ද, එහෙමත් නැතිනම් අද වගේම බහුතර සමාජය විසින් නොපිළිගැනුණු දෙයක්ද කියන එක විවාදාපන්නයි. උදාහරණයක් විදියට ගත්තොත් සමසෙනෙහස් යුතෝපියානු ග්‍රීසියක් ගැන සඳහන් වෙන අදහස් තිබුණත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත සාධක නැහැයි කියන විරුද්ධ අදහසුත් දකින්න ලැබෙනවා. ඒ ගැන නිශ්චිතවම කියන්න බැරි හේතුව ඓතිහාසික මූලාශ්‍ර වල සමසෙනෙහස කියන දේ වචනාර්ථයෙන් සඳහන් නොවීම.
එතකොට ඕක පවක් නෙවෙයිද?
මේක ටිකක් සංකීර්ණව පැහැදිලි කරන්න වුවමනා කාරණාවක්. ගොඩක් දෙනා බුදුදහමෙන් ගත්තොත් සමරිසිභාවය පාපයක්ය කියන්න කාමේ සුමිච්ඡා චාරා කියන සිල්පදය තමයි උපුටලා දක්වන්නේ. ක්‍රිස්තියානි භක්තිකයොත් දේවධර්මයෙන් හේතු දක්වනවා. අපි හිතලා බැලුවොත් සමරිසිභාවයට විරුද්ධ හැමෝටම වගේ සමලිංගිකත්වය කියපු ගමන් ඔලුවට එන්නේ සෙක්ස්. ඒක හරි. ආදරේ සහ සෙක්ස් කියන්නේ එකකින් අනෙක වෙන් කරන්න බැරි තරමට බැඳුණු දෙයක්. හැබැයි සමලිංගිකත්වය කිවුවහම මිනිස්සුන්ගේ හිත් වලට එන්නේ දකින දකින මිනිහා එක්ක සෙක්ස් කරන්න යන මිනිස්සු වගේ කතාවක්. ඒකත් නැහැයි කියන්න බැහැ. බොහෝ වෙලාවට අපි දකින සමරිසි නැඹුරුතාවය තියෙන මනුස්සයෙක් තමන් එක්ක සෙක්ස් කරන්න කෙනෙක් හොයනවා වෙන්න පුලුවන්. ඒ වගේම බොහෝ වෙලාවට අපි දකින විසම ලිංගික මනුස්සයෙකුත් තමන් එක්ක සෙක්ස් කරන්න කෙනෙක් හොයමින් ඉන්න පුලුවන්. ඒ කියන්නේ ඔය කතන්දරේට ලිංගික නැඹුරුවේ විශේෂ බලපෑමක් නෑ. හැබැයි සමරිසිභාවයට සමාජයේ තියෙන විරෝධය නිසා, එළිපිට සහකරුවෙක් හොයාගන්න බැරි වීම නිසා මේ තත්ත්වය ටිකක් තීව්‍ර වෙන්න පුලුවන්.
හැබැයි මේ එක දෙයක්වත් කොහොමද පාපයක් වෙන්නේ? මිනිහෙක් මිනිහෙක්ට ආදරය කිරීම පවක් කියලා මොන බණ පොතේද දක්වලා තියෙන්නේ? කාමයේ වරදවා හැසිරීම කියන්නේ ඔයිට වඩා සංකීර්ණ දෙයක්. ඒකට ලිංගික නැඹුරුතාවය අදාළම නැහැ.
- Lifie.lk