සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙත පැමිණිල්ලක් යොමු කරන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද (නොවැ. 7) නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අදාළ පැමිණිලි [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමූ කළ හැකි බව ය.
වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කරන සන්නිවේදන උපක්‍රම හරහා ජනතාව මූල්‍ය වංචාවන්ට ගොදුරු කර ගැනීමේ සිදුවීම් වාර්තා වන බව නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, වට්සැප් ගිණුම් හිමියන් හැක් කිරීම (Hacking) මගින් ඔවුන්ගේ සම්බන්ධතා ලැයිස්තුවට අයත් සෙසු පුද්ගලයන් වෙත පණිවිඩ යොමු කර මුදල් හෝ ආධාර ඉල්ලීම මෙහිදී සිදු කර ඇති බව ය.
එමෙන් ම, Fake Web අඩවි, සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ වැනි මාධ්‍යයන් හරහා විවිධ බැංකු, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන, ව්‍යාපාරික ආයතන ආදී නාමයන් භාවිත කරමින් එවන ව්‍යාජ පණිවිඩ ඔස්සේ මේ අයුරින් වංචනිකව මුදල් ලබා ගැනීමේ සිද්ධි වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.
මෙහිදී අදාළ පුද්ගලයන්ගේ දුරකතන ලැබී ඇති යම් කේතයක් (code) රහස් අංකයන් (Pin/OTP) හෝ මුර පදයක් (Password) තමා වෙත ලබා දෙන මෙන් කරන ඉල්ලීම් මගින් අපරාධකරුවන් සිය මූල්‍ය වංචාවන් සඳහා අවශ්‍ය තාක්ෂණික ප්‍රවේශය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, තම සමාජ මාධ්‍ය ගිණුම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා එකී සේවාවන්ගේ ඇති ද්විත්ව ස්ථාපනය (Two factor verification) වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සුදුසු වේ.
තව ද, සිය සමාජ මාධ්‍ය ගිණුම වෙනත් අයෙකුගේ ග්‍රහණයට ලක් වීම වළක්වා ගැනීමට සිය දුරකතනයට හෝ අදාළ ගිණුමට ලැබී ඇති කේතයක්, රහස් අංකයක් හෝ මුරපදයක් බාහිර පාර්ශවය වෙත යොමු කිරීමට පෙර අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
[mawbima]