මෙවර කන්නයෙන් ගොවි ජනතාවට විශාල අස්වැන්නක් ලැබීමට නියමිතව තිබියදී රජය සහල් ආනයනය කිරීමට තීරණය කර තිබීම මේ රටේ ගොවි ජනතාවට සිදු කළ බලවත් අසාධාරණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී අද (02) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ රජය ජනතාවට ප්‍රකාශ කළ දේවල්වලට විරුද්ධව අද වන විට කටයුතු කරන බවයි. සහල් ආනයනය කරන්නේ නැති බව පැවසූ ආණ්ඩුව 2025 වසරේදී සහල් ටොන් 67,000 ක් මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, නැවතත් එක් ආනයනකරුවෙකුට කිරි සම්බා ටොන් 1,040 ක් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළා. මෙවර කන්නයෙන් විශාල අස්වැන්නක් ලැබීමට නියමිත මෙවැනි අවස්ථාවක ආණ්ඩුව මෙලෙස සහල් ආනයනය කිරීමට කටයුතු නොකළ යුතු බවත්, රජය කළ යුත්තේ සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වන සහල් ප්‍රමාණය පමණක් ආනයනය කිරීම බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.














