මොළයේ සැත්කම් සහ අනෙකුත් සංකීර්ණ ස්නායු ශල්‍යකර්ම සඳහා භාවිත කරනු ලබන අධිවේගී ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් (Electric Drills) 10ක් ජර්මනියේ Aesculap AG සමාගමෙන් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
මෙම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලංසු කැඳවා තිබූ අතර, ඒ සඳහා ඉදිරිපත් වූ ලංසුකරුවන් දෙදෙනා අතරින් අවම මිලක් ඉදිරිපත් කළ ජර්මනියේ ‘Aesculap AG’ සමාගම තෝරාගෙන ඇත. මීට පෙර රජය විසින් ජාත්‍යන්තර ලංසු කැඳවා තිබුණේ ස්නායු සැත්කම් සඳහා අවශ්‍ය මෙවැනි උපාංගවල පවතින දැඩි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමිනි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව, ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව අනුමත කර ඇත.
ස්නායු සැත්කම්වලදී හිස්කබල විවෘත කිරීම (Craniotomy) වැනි අතිශය සියුම් කටයුතු සඳහා මෙම ‘Electric Drill’ අත්‍යවශ්‍ය වේ. Aesculap AG යනු ලොව පිළිගත් ‘B. Braun’ සමූහයට අයත් සමාගමක් වන අතර, ඔවුන්ගේ ELAN 4 වැනි නවීනතම මාදිලියේ ඩ්‍රිල් පද්ධති ලොව පුරා ප්‍රචලිතය. මේවායේ පවතින ඉහළ නිරවද්‍යතාව සහ ආරක්ෂිත බව නිසා ශල්‍ය වෛද්‍යවරුන්ට ඉතා සාර්ථකව සැත්කම් කිරීමට හැකියාව ලැබේ.
රජයේ රෝහල්වල පවතින උපකරණ හිඟයට පිළියමක් ලෙස මෙම නව උපාංග කට්ටල 10 කඩිනමින් මෙරටට ගෙන්වා ප්‍රධාන ස්නායු ශල්‍ය ඒකක වෙත බෙදා දීමට නියමිතය.















