ඉන්දියාවේ නවදිල්ලි නුවර භාරතී විද්‍යාපති විශ්වවිද්‍යාලයේදී පසුගියදා පැවැති සාර්ක් කලාපීය මාධ්‍යවේදීන්ගේ විශේෂ සමුළුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය නිදහස පිළිබඳව දැඩි අවධානයක් යොමු විය. දකුණු ආසියානු කලාපයේ සාමය, සහජීවනය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා මාධ්‍යවේදීන් සතු වගකීම මෙහි ප්‍රධාන තේමාව වූ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙරට මාධ්‍යවේදීන්ට එල්ල වී ඇති අභියෝග සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් පිළිබඳව කරුණු පැහැදිලි කළහ. විශේෂයෙන්ම කලාපීය වශයෙන් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය බව මෙහිදී අවධාරණය කෙරුණු අතර දකුණු ආසියානු ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී දායකත්වය අගයමින් ශ්‍රී ලංකික නියෝජිතයින්ට සම්මාන ද පිරිනැමුණි.
ඒ අනුව ප්‍රගීත ජනක මහතා ‘පණ්ඩිත් යුගල් කිෂෝර්’ ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ අතර සාර්ක් ජනමාධ්‍ය සංසදයේ ශ්‍රී ලංකා සභාපති රාහුල් සමන්ත මහතා ‘South Asian Hero Award 2026’ සම්මානයෙන් පිදුම් ලැබීය. මාධ්‍යවේදීන්ට අමතරව විශ්වවිද්‍යාල සිසුන් සහ සමාජ ක්‍රියාකාරීන් දහස් ගණනක් සහභාගී වූ මෙම සමුළුව දකුණු ආසියානු කලාපය තුළ පවතින දේශපාලනික සහ සමාජීය ගැටලු විසඳීම සඳහා මාධ්‍යවේදීන් අතර ශක්තිමත් ජාලයක් ගොඩනැගීමට වැදගත් සන්ධිස්ථානයක් විය.













