ලෝක සාමය, දයාව සහ අවිහිංසාව ප්‍රචලිත කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩී.සී. (Washington D.C.) දක්වා ආරම්භ කළ ඓතිහාසික “සාමයේ පාද යාත්‍රාව” අද (01) සිය 100 වැනි දිනයට ආසන්න වෙමින් සාර්ථකව ඉදිරියට ඇදේ.
2025 ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ වූ මෙම සැතපුම් 2,300ක (කිලෝමීටර් 3,700ක) දීර්ඝ වන්දනා ගමන මෙහෙයවනු ලබන්නේ ටෙක්සාස්හි හුඔං ඩාඕ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භික්ෂූන් වහන්සේලා 24 නමකගෙන් යුත් කණ්ඩායමකි. පන්නාකර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු මෙම දුෂ්කර ගමන පාවහන් රහිතව (හිස් දෙපතුලෙන්) ගමන් කිරීම විශේෂත්වයකි.
මෙම පාද යාත්‍රාවට ලොව පුරා අතිමහත් ප්‍රතිචාරයක් හිමිව ඇති අතර, ඔවුන්ගේ ෆේස්බුක් පිටුව පමණක් මේ වන විට මිලියන 2.4ක අනුගාමිකයින් පිරිසක් පසුකර තිබේ.
ගමන අතරතුර නොවැම්බර් මාසයේදී ටෙක්සාස්හිදී සිදුවූ දරුණු රිය අනතුරකින් එක් භික්ෂූන් වහන්සේ නමකට සිය පාදයක් අහිමි වුවද, එම බාධක හමුවේ පසුබට නොවී උන්වහන්සේ ද යළිත් කණ්ඩායම සමඟ එක්ව සාමයේ පණිවිඩය බෙදා හරිති. මෙම ගමනේ තවත් සුවිශේෂී චරිතයක් වන්නේ ඉන්දියාවේ සිට පැමිණි “ආලෝක” නම් සුනඛයායි.
ආලෝක ද සැතපුම් දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා සමඟ පා ගමනින් ගමන් කරමින් ලෝකවාසීන්ගේ ආදරය දිනා ගැනීමට සමත්ව ඇත.සෑම දිනකම සැතපුම් 20කට වඩා වැඩි දුරක් ගෙවා දමන මෙම පාද යාත්‍රාව ලුසියානා, මිසිසිපි, ඇලබාමා, ජෝර්ජියා සහ කැරොලිනා ප්‍රාන්ත පසුකරමින් මේ වන විට වොෂින්ටන් නුවරට ළඟාවීමට ආසන්නව සිටී.
පෙබරවාරි 11 හෝ 12 වන දින වොෂින්ටන් ඩී.සී. වෙත ළඟාවීමට නියමිත මෙම ගමන මගින් ඇමෙරිකානු ජනතාව අතර සහයෝගීතාව සහ ආගමික සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා රන් පවුම් (Peace Bracelets) බෙදා දීම ද සිදු කෙරේ. ඔස්ටින් සහ ග්‍රීන්ස්බෝරෝ වැනි නගර දැනටමත් මෙම මෙහෙවර අගයමින් විශේෂ “සාම දිනයන්” ප්‍රකාශයට පත් කර ඇත.














