සිංහරාජ වන රක්ෂිතය සහ වළංකන්ද වනාන්තර පද්ධතිය යා කරන සුවිශේෂීම වන මංකඩ වන ‘බෝටියතැන්න’ ප්‍රදේශය රක්වාන නගරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන සරත් මාකාවිට විසින් යළිත් වරක් විනාශ කරමින් සිටින බව වාර්තා වේ. අක්කර 10ක පමණ තෘණ භූමියක් බැකෝ යන්ත්‍ර යොදා එළිපෙහෙළි කර ගිනි තැබීම මේ වන විටත් සිදු කෙරෙන අතර, මෙම ප්‍රදේශය සිංහරාජයේ වෙසෙන අලි ඇතුන්ගේ ප්‍රධාන සංක්‍රමණික මංකඩක් ලෙස හඳුනාගෙන තිබේ. කලවාන දොලේකන්ද ප්‍රදේශයේ සිදුවන මෙම මහා පරිමාණ වන විනාශය සහ යාන්ත්‍රික මැණික් පතල් කැණීම් හමුවේ සමස්ත පරිසර පද්ධතියම දැඩි අවදානමකට ලක්ව ඇත.
මීට පෙර ප්‍රකට ,මැණික් ව්‍යාපාරික කහවත්තේ ගුරුගේ මැණික් ව්‍යාපාරයේ වත්මන් හිමිකරුවන ගයාන් සංජීව ගුරුගේ ඇතුළු පිරිසක් විසින් මෙහි නීති විරෝධී හෝටල් ඉදිකිරීම් සිදු කරමින් ආරම්භ කළ විනාශය, වර්තමානය වන විට දරුණු ජල අර්බුදයකට ද මග පාදා තිබේ. බෝටියතැන්න විනාශ වීම නිසා හඳපාන් ඇල්ල සම්පූර්ණයෙන් සිඳී යාමේ තර්ජනයට ලක්ව ඇති අතර, මුළු ලොවින්ම සිංහරාජයට පමණක් ආවේණික දුර්ලභ උභයජීවී විශේෂ අටකගේ සහ අඟ කටුස්සන් වැනි උරග විශේෂ කිහිපයකගේ අවසන් වාසස්ථාන ද මෙලෙස ඛණ්ඩනය වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරිය සහ වනජීවී දෙපාර්තමේන්තුව වහා මැදිහත් වී මෙම භූමිය පාරිසරික ආරක්ෂණ කලාපයක් හෝ අභය භූමියක් ලෙස ගැසට් කිරීමට කටයුතු නොකළහොත් මෙම ජෛව විවිධත්වය සදහටම අහිමි වනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.














