එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව තකා විශේෂ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ලබන 09 වනදා සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන අතර, දෛනිකව ධාවනය වන බස් රථවලට අමතරව තවත් බස් රථ 250ක් පමණ දුර පළාත් සඳහා යෙදවීමට සැලසුම් කර ඇත. මගී අවශ්‍යතාවය මත තවදුරටත් බස් රථ ප්‍රමාණය ඉහළ නැංවීමට සූදානම් බවත්, අප්‍රේල් 09 සිට 13 දක්වා ගම්බිම් බලා යාමටත්, අප්‍රේල් 17 සිට 21 දක්වා යළි කොළඹට පැමිණීමටත් මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක වන බව ලංගම පවසයි.
මෙයට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද ලබන 09 වනදා සිට පෞද්ගලික බස් රථ එක් කරමින් විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දැනුම් දී තිබේ. දුම්රිය මගීන් වෙනුවෙන් ලබන 10 වනදා සිට විශේෂ දුම්රිය සේවා ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම මුහුදුබඩ මාර්ගය, උතුරු මාර්ගය සහ ප්‍රධාන මාර්ගය කේන්ද්‍ර කරගනිමින් සාමාන්‍ය දුම්රිය වාරවලට අමතරව මෙම විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට නියමිතය.














