ආණ්ඩුවේ ප්‍රධානීන් තුන්දෙනා නොදන්නා ද්‍රවශීලිතාවය ගැන ජන සත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සිලරතන හිමියෝ දන්නා බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“බත්තරමුල්ලේ සීලරතන හිමිත් දන්නවා ද්‍රවශීලිතාව ගැන. ආණ්ඩුවේ ඉන්න තුන්දෙනා දන්නේ නැහැ මොකක්ද ද්‍රවශීලිතාව කියන්නේ කියලා” යැයි එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණ මහනුවර කරළිය සම්මන්ත්රණශාලාවේ සංවිධානය කළ ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා කීවේ ය.
රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මුදල් අච්චු නොගැසූ බව කියා සිටින නමුත් මහ බැංකුව ද්‍රවශීලිතාව ලබා ගැනීමට මුදල් අච්චු ගැසූ බවට ප්‍රසිද්ධ කර ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.
පසුගිය පාර්ලිමේන්තුව දූෂිත යැයි මාලිමාව ප්‍රකාශ කළ ද රටේ ජනතාවගෙන් සියයට 58ක් ආණ්ඩුවේ අදහස පිළි ගෙන නැතැයි කී වික්‍රමසිංහ මහතා තමන් කැමැති අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත්කර එවීමට ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බව ත් පාර්ලිමේන්තුව පිරිසුදු කිරීම මාලිමාවේ කාර්යභාරයක් නොවන බව ත් පැවසීය.
ප්රජාතන්ත්රවාදයේ ඇඳුම්වලින් සැරසී සිටිය ද තවම මාලිමාවේ නායකයන්ට එය ‘ෆිට්’ වී නැතැයි පැවැසූ හිටපු ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදී රාමුවේ නොසිටි පුද්ගලයන් මැතිවරණයකින් මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම පිළිබදව නොදන්නා බව ද කීය.
තමා ජනාධිපති ධූරයට පත්වී ඉදිරිපත් කළ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක නොකර හොරු නීතියට හසුකර ගත නොහැකි බව ත්, වත්මන් ජනපති ඇතුළු මාලිමාවේ නායකයන් හොරු අල්ලනවා යැයි කීව ද ඊට ක්‍රමවේදයක් ඉදිරිපත් කර නැති බව ත් හෙතෙම සඳහන් කළේ ය.