ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජංගම දුරකතන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ මේ වන විට මහජනතාවගෙන් අදහස් ලබා ගනිමින් සිටින බවත්, ඉන් පසු මෙරට ජංගම හා ස්ථාවර දුරකතන සේවා ලබා ගන්නා පාරිභෝගිකයින් වෙත එම සේවාව ලබා දීමට කටයුතු යෙදෙනු ඇති බවත් එම කොමිෂන් සභාව පවසයි.
මෙම එන්.පී. සේවාව ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට තුළ දුරකතන සේවා ලබා දෙන සමාගම් හා සාකච්ඡා කර එය ක්‍රියාත්මක කළ හැකි ආකාරය පිළිබඳ වන සැලැස්මක්ද මේ වන විට සකස් කර ඇති බව මේ පිළිබඳ අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේය.
ඒ අනුව එම සේවාව හඳුන්වා දුන් පසු තමන් කැමති දුරකතන ජාලය ඕනෑම දුරකතන සේවා සපයන ආයතනයක් හරහා ලබා ගැනීමට හැකි වන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව තමන් භාවිත කරන දුරකතන අංකය කිසිදු වෙනස්වීමකින් තොරව ඕනෑම දුරකතන ජාලයක් හරහා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ පහසුකම මෙමඟින් හිමි වන බව ද පැහැදිලි කළේය.
මෙම සේවාව ඉක්මනින්ම මෙරට දුරකතන පාරිභෝගිකයින් වෙත හඳුන්වාදීමේ අරමුණින් 2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළ බවත් මෙම සේවාව සම්බන්ධව අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගත් බවත් පැවසූ එම ප්‍රකාශකයා ඉන් අනතුරුව සියලුම දුරකතන සේවා ලබා දෙන සමාගම් හා සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කළ බවත් සඳහන් කළේය.
ඉන් අනතුරුව සේවාවේ ක්‍රියාකාරිත්වය සහ පරිපාලනය සඳහා සියලුම ස්ථාවර සහ ජංගම ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් Lanka Number Portability Services Guarantee Limited (LNPS) නමින් සමාගමක් පිහිටුවීමට කටයුතු කළ බව ද ඒ සමඟ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙම NP සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ඉහත සමාගම වෙත ලබා දුන් බව ද ප්‍රකාශ කළේය.
මෙරට තුළ දුරකතන සේවා ලබා දෙන ස්ථාවර හා ජංගම දුරකතන සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් මෙම NP සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැකසූ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය අනුමැතීන් ලබා දී ඇති බවත් Lanka Number Portability Services Guarantee Limited (LNPS) විසින් ඊට අදාළ තාක්ෂණික පද්ධතිය සැපයීම සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර, තාක්ෂණික ඇගයීම් අවසන් කර ඇති බව ද කීවේය.
ලබන වසරේ ජනවාරි මස වන විට සියලුම මූල්‍ය ඇගයීම් අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කළේය. සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වූ පසු ආරම්භ කළ LNPS නව සමාගම විසින් සුදුසු උපකරණ සැපයුම්කරුවකු තෝරා පද්ධතිය ස්ථාපනය කිරීම සම්පූර්ණ කරනු ඇති බවත් ඉන් පසුව මෙරට දුරකතන ජාලා වෙත NP සේවාව සැපයීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.