ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව සංවර්ධනය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
ප්‍රාථමික, ද්විතීක හා තෘතීයීක අංශයේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, දේශීය ඖෂධ නිෂ්පාදනය සහ ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව සැපයීම, ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම යන අංශ ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව දියුණු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ආයුර්වේද වෛද්‍ය සභාවට සාමාජිකයන් පත් කිරීම වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කිරීම සදහා බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්රමයන් සංවර්ධනයට පියවර ගන්නා බවත් ජයතිස්ස මහතා කීවේය.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ බටහිර වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක රජයේ රෝහල් 1164 සහ ආයුර්වේද අංශයේ රෝහල් 112 පිළිබදව අවධානය යොමු කර ඒවා දියුණූ මට්ටමට ගෙන ඒම වත්මන් රජයේ සැලසුම බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මින් ඉදිරියට කටයුතු කිරීමේදී එම සැලසුමෙන් බාහිරව ඇමතිවරයාගේ හෝ පළාතේ දේශපාලඥයාගේ මනසේ පහල වන මනෝරාජික සංකල්ප නිලධාරීන් හෝ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක නොකල යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේවික්‍රම මහතා ඇතුලු ආයුර්වේද වෛද්‍ය සභාවට අලුතින් පත් වු සාමාජිකයින්, ආයුර්වේද වෛද්‍යවරුන්, නිලධාරීන්, ඇතුලු පිරිසක් එක්ව සිටියහ.