හබරණ, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ් රථයක තිබී අබිරහස් ලෙස දැවී ගිය මළ සිරුරක් පොලිසිය සොයාගෙන ඇති අතර එය ඝාතනයක් ද සියදිවි හානිකර ගැනීමක් ද යන්න නිශ්චය කර ගැනීම සඳහා මින්නේරිය පොලිසිය පුළුල් විමර්ශනයක් ඊයේ ආරම්භ කර තිබ
එමෙන් ම, දැවී ගිය පුද්ගලයා කවුද යන්න නිශ්චිතව හඳුනා ගැනීම සඳහා පිලිස්සී ගිය මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමුකරන බව ත් ඊට අමතරව සිරුර DNA පරීක්ෂණයක් සඳහා යොමුකරන බව ත් පොළොන්නරුව කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ‘මව්බිම’ට කීය.
පොලිසිය සැක කරන්නේ මෙම පුද්ගලයා බියගම ප්‍රදේශයේ රැකියාව කරන අයෙකු විය හැකි බවය.
ඔහුගේ මළසිරුර හඳුනාගත නොහැකි ආකාරයට පිලිස්සී තිබිණි. ඒ අනුව පොලිසිය සැක කරන්නේ මොහු වයස අවුරුදු 64ක බියගම ගැමුණු මාවතේ පදිංචි පුද්ගලයෙකු බවට කැබ්රියේ තිබූ කාඩ්පතක සඳහන් වන බවය.
පාරේ ගමන්ගත් පුද්ගලයෙකු කැබ් රථයක් මාර්ගයේ ගිනි ගන්නා බවට මින්නේරිය පොලිසියට කළ දැනුම් දීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් ගොස් මෙම රථය සොයාගෙන ඇත.
නිලධාරීන් එතැනට යන විටත් කැබ්රථය සම්පූර්ණයෙන් ම පිලිස්සී තිබී ඇති අතර එය තුළ පිලිස්සී තිබූ මළසිරුර සොයා ගැනීමට නිලධාරීන්ට හැකිව ඇත.
ඒ අනුව, පොලිසියට කිසියම් සැකයක් ද ඇතිව තිබේ. පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ සිරුර කැබ් රථය තුළ දමා මෙම ප්‍රදේශයට ගෙනැවිත් ඊට ගිනි තැබීමට කටයුතු කළා ද යන්න පොලිසියේ එක් සැකයකි.
කැබ් රථයේ පිටුපස ඩිකිය ප්‍රදේශයෙන් ගැට ගසා ඇති අතර එහි අවසන් කෙළවර මියගිය පුද්ගලයාගේ ගමන් මල්ලද ගැට ගසා ඇතැයි ද පොලිසිය කියයි.
මින්නේරිය පොලිසිය හා පොළොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න සම්පූර්ණයෙන් නිවා දමා තිබේ.
කෙසේ වෙතත්, පිලිස්සී ගිය සිරුර කැබ්රියේ පිටුපස ආසන්නයේ තිබී ඇතැයි ද පොලිසිය කියයි.
ඒ අනුව, මොහු එම රථයේ ම පැමිණි අයෙකු ද රථයේ රියැදුරා ලෙස කටයුතු කළේ කවුද? මියගිය ඔහු මද යන්නද සැක පහළ වී තිබේ.
කෙසේ වෙතත්, මෙය ඝාතනයක් ලෙස විමර්ශන සිදුකරන අතර එය නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා සොකෝ නිලධාරීන් රස පරීක්ෂක නිලධාරීන්ද කැඳවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශන් ද සිල්වාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලගේ උපදෙසින් මින්නේරිය පොලිස් ස්ථානාධිපති දුමින්ද ප්‍රනාන්දු ප්රමුඛ අපරාධ විමර්ශන නිලධාරීන්ද පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.