අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේ පිහිටි හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බ තුනක් අද (20) දහවල් සොයාගෙන තිබේ.
අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම බෝම්බ සොයාගත් බව පොලිසිය පවසයි.
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, බෝම්බ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අදාළ හිටපු කමාන්ඩෝ සෙබළා ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. සොයාගත් බෝම්බ නිසි පරිදි නිෂ්ක්‍රීය කිරීම සඳහා අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් වෙත භාර දීමට අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මෙම බෝම්බ ළඟ තබා ගැනීමට හේතුව කුමක්ද සහ ඔහු කිසියම් අපරාධ කල්ලියක් සමඟ සබඳතා පවත්වන්නේද යන්න පිළිබඳව අනුරාධපුර පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකරු හෙට (21) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














