පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා සාපරාධී ලෙස මිනීමැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය බලරහිත කිරීමට අභියාචනාධිකරණය අද (03) නියෝග කළේය.
පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුව මගින් අදාළ නඩු කටයුත්තට පූර්ණ බාධාවක් සිදු නොවන බවත්, නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් අවධාරණය කළහ.














