හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ, සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මත මෙම නඩුව පවරා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2025 අගෝස්තු මස රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපතිවරයා, පසුව ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණි.
අද දින නඩුව කැඳවනු ලබන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීම සඳහාය.
මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ 2026 ජනවාරි 28 වනදා වන විට විමර්ශන අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව, අද දින ඉදිරිපත් කෙරෙන විමර්ශන වාර්තාව සහ නීතිපතිවරයාගේ උපදෙස් මත නඩුවේ ඉදිරි ගමන්මඟ තීරණය වනු ඇතැයි නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.














