අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17 වැනිදා) අවසර ලබා දුන්නේය.
හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම අවසරය ලබා දුන්හ.
ඉකුත් පාලන සමයේ අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් අධිකරණයට අපහාස කොට ඇතැයි චෝදනා කරමින් ගොණු කර ඇති පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අතර එහිදී හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තමා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත නොවන බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබිණි.
හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ අනුව ජනවාරි මස 22 වනදා සිට පෙබරවාරි මස 28 වනදා දක්වා කාල සීමාව තුළ ඔහුට විදේශගත වීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට පෙත්සම ඉදිරිපත් කළ බලපත්‍ර ලත් මත්පැන්හල් හිමියන් විසින් විරෝධය පළ කළේ නැත.
ඒ අනුව හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාගේ ඉල්ලීමට අවසර දෙන බව විනිසුරු මඬුල්ල සඳහන් කළහ.