පවතින කාලගුණික තත්ත්වය හමුවේ හෙට (16) දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය (Heat Index), එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමුකළ යුතු’ මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, මීට අමතරව මොනරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් මෙම තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මෙම අධික උණුසුම සහිත කාලගුණය හේතුවෙන් මහජනතාව සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම එළිමහනේ සේවය කරන පුද්ගලයන් ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම සහ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එසේම වැඩිහිටියන්, කුඩා දරුවන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙයි













