හෝමාගම, පිටිපන පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් පෙළපොත් ගබඩා සංකීර්ණයේ නේවාසිකාගාරය තුළ සිටි සේවකයෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි හේවාදේවගේ ඉෂාර සංජීව නැමති එම ගබඩා සංකීර්ණයේ වෙළඳ සහායකවරයෙකි.
පසුගිය 18 වැනිදා රාත්‍රියේ මෙම මරණය සිදුව ඇති බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. පොලිස් විමර්ශනවලට අනුව, එදින රාත්‍රියේ නේවාසිකාගාරයේ සේවකයන් තිදෙනෙකු රැඳී සිට ඇති අතර මියගිය පුද්ගලයා එදින උදෑසන සිට මත්පැන් පානය කර සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත.
රාත්‍රී කාලයේ ඔහු නේවාසිකාගාරයේ බිම නිදා සිටියදී සෙසු සේවකයන් ඔහුව අවදි කිරීමට උත්සාහ කර ඇතත්, ඔහුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා ද කැඳවා ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත.
මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. හෝමාගම මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














