හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා මැදපෙරදිගින් බොරතෙල් ආනයනය කිරීමේදී ඇති වී තිබෙන බාධා හමුවේ යම් මට්ටමක අවදානමක් භාර ගැනීමට දකුණු කොරියාවට සිදුවන බව ජනාධිපති ලී ජේ මියුන් අද (06) ප්‍රකාශ කළේය විකල්ප මාර්ග සීමිත බැවින් අවදානම නිසා තෙල් නැව් පැමිණීම සම්පූර්ණයෙන්ම නතර වුවහොත් එය එරට මහජනතාවට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔහු කැබිනට් මණ්ඩල රැස්වීමකදී පෙන්වා දුන්නේය මේ හේතුවෙන් අවදානම සහ සැපයුම අතර නිසි සමබරතාවයක් පවත්වා ගනිමින් තෙල් ආනයනය අඛණ්ඩව සිදුකිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය
පවතින තත්ත්වයට විසඳුම් ලෙස දකුණු කොරියාව සෞදි අරාබිය ඕමානය සහ ඇල්ජීරියාව වැනි රටවල් සමඟ විකල්ප තෙල් මාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අතර රතු මුහුදේ ආරක්ෂාව සඳහා නෞකා යෙදවීමට ද අවධානය යොමු කර ඇත මීට අමතරව එරට පවතින හදිසි තෙල් සංචිත භාවිතා කිරීමට සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෙල් සැපයුම තහවුරු කරගැනීමට ද පියවර ගනිමින් පවතී මෙම බලශක්ති අර්බුදය හමුවේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කරා යොමු වීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද රජය සැලසුම් කර තිබේ
ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම නිසා ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යමින් පවතින පසුබිමක දකුණු කොරියාව වැනි ආනයන මත යැපෙන රටවල් සිය බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් දැඩි වෙහෙසක් දරමින් සිටියි ජනාධිපතිවරයා පවසන්නේ ජාතික ආරක්ෂාව සහ මහජන යහපත උදෙසා ඕනෑම අභියෝගාත්මක තීරණයක් ගැනීමට සිය රජය සූදානම් බවයි මෙම තත්ත්වය හමුවේ දකුණු කොරියානු වැසියන්ට බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද දැනුම් දී ඇත














