ශ්‍රී ලංකාව තුළ ළමයින් සිඟමනේ යෙදවීමේ ප්‍රවණතාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ අලුත්ම දත්ත වාර්තා මගින් අනාවරණය වේ. එම වාර්තාවලට අනුව පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ ළමයින් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන් පැමිණිලි 287ක් ලැබී ඇති අතර, එය 2024 වසරේ වාර්තා වූ පැමිණිලි 227ක සංඛ්‍යාව හා සසඳන විට සැලකිය යුතු වර්ධනයකි. කොළඹ සහ ඒ අවට නාගරික ප්‍රදේශවල මෙන්ම ප්‍රධාන සංචාරක කලාපවල මෙලෙස ළමයින් සිඟමනේ යෙදවීම බහුලව දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී තිබේ.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ ළමා ආරක්ෂණය සම්බන්ධ නීති රීති ක්‍රියාත්මක කිරීමේදී විවිධ ප්‍රායෝගික ගැටලු මතු වූ බවයි. විශේෂයෙන්ම මෙම විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන්ගේ පවතින හිඟය මීට ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, ඉදිරියේදී නව බඳවා ගැනීම් සිදුකර එම අඩුපාඩු මඟහරවා ගනිමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.











